අඳ – ගොළු – බිහිරි
STEP FORWARD
පරිවර්තනයේ සරසවිය
අඳ – ගොළු – බිහිරි බවට පරිවර්තනය වීම මව්පියන් එක්ක ගෙදර ඉන්න තාක් කල් සතුටින්, සැහැල්ලුවෙන්, පොතපතේ වැඩ විතරක් කරගෙන, ගෙදර වැඩි වැඩක් නොකර හිටපු දියණිය පතිකුලයට පිවිසීමත් එක්ක වගකීම් බහුල කාන්තාවක් බවට පත් වෙනවා….
රැකියාවක් කරන්න, නිවෙසේ කටයුතු කරන්න, පිරිසිදු කිරීම් කරන්න, දරුවන් රැකබලා ගන්න, සියලු යුතුකම් වගකීම් ඇය මත පැටවෙනවා….. නමුත් මේ කොයි දේ කලත් සැමියාගෙන් වැඩි හොඳක් නම් අහන්න ලැබෙන්නේ නැහැ! බොහෝ විට ඔහුගේ ඥාතීන්ගෙන් අහන්න තියෙන්නෙත් වැරදි අඩුපාඩුම තමයි.
මේ වගේ ප්රශ්න වලදී කෝපයට පත්වුණු, අඬදබර පටලවා ගන්නා, ඉවසීම අවසන් වුනු කාන්තාවන් සමහරවිට විශාදය Depression මට්ටමට ගිහින් උපදේශනය සඳහා අපි හමුවට එනවා…..
ඒත් ඔවුන් හිත දුකට පත් කරගෙන දුක් වුණා කියලා ලැබෙන දෙයක් නෑ…. තවත් ඇතිවෙන්නේ වෙහෙසක් විතරයි. කොහොමද කාන්තාව මේ සියල්ලටම මුහුණ දෙන්නේ?? උපදේශනයේදී අපි ලබන අත්දැකීම් එක්ක අපි දකිනවා සමහර කාන්තාවන් තමන්ට තියෙන වගකීම් බහුල බව කොයිතරම් වුවත්, සතුටින් සැහැල්ලුවෙන්, ඒ සියල්ල දරාගෙන දරුවන් යහමගට ගැනීමේ භාරදූර කටයුතුවල නියැළෙනවා. ඒ අය කොහොමද එහෙම ඉන්නෙ ??
අපි දුකට පත් වෙන්නේ යමක් බලාපොරොත්තු වුණොත් විතරයි. කිසිවක් බලාපොරොත්තු නොවෙන තැනට හිත හදාගන්න පුලුවන් නම් එයයි ජයග්රහණය! මම බොහෝ වෙලාවට උපදේශනයට එන අයට කියලා දෙන දෙයක් තමයි අඳ – ගොළු – බිහිරි න්යාය පාවිච්චි කරන්න කියන එක… මේක තමන්ගේ හිත හිත වේදනාවට පත්කරන කොතනටත් සුදුසුයි. තමන්ගෙ වැඩ ටික තමන් හරියට කරනවා නම් රාජකාරි ස්ථානයේ දීත් නිවසේදීත් නෑසූ කන්ව, නොදුටු සේ, තමන්ගේ පාඩුවේ වැඩ කිරීමෙන් තිබෙන වැඩ මදිවට අනුන් නිසා එන වෙහෙස අඩු කර ගන්න පුළුවන්.
සැමියාට කේලම් කියන නැන්දම්මා, තමන්ගේ අඩුපාඩුම දකින නෑනා, වැරදි හොයන කාර්යාලය සගයින්, ඔබව අගය කරන්නැති සැමියා, ඉවරයක් නැතුව දබර කර ගන්න දරුවන්……වැනි මේ කියන හැම දෙනාටම හොඳම බෙහෙත අඳ – ගොළු – බිහිරි න්යාය තමයි. මේ අයට කොයිතරම් දේ පැහැදිලි කළත් ඒ අය තේරුම් ගන්නේ නෑ…… ඊට හේතුව ඔබේ අතේ වරදක් නැති කමයි. ඔවුන්ගෙම අදක්ෂතාවය නිසා ඒ අයගෙන් ඔබට බාධා එල්ල වෙනවා වෙන්න පුළුවන්.
අදින් පස්සේ ඔබට දොස් කියන/ බොරු කතා කියන /ඇනුම්පද කියන /කේලම් කියන අය කියන දේ /කරන දේ
දැක්කේ නැති විදිහට ඉන්න
ඇහුනේ නැති විදිහට ඉන්න
පැහැදිලි කිරීම් වලට නොයන්න
ඔබට ඔබේ ශක්තිය ඉතුරු වෙනවා…. ඇත්තටම කිව්වොත් “මේවා මට අදාල නෑනේ” කියලා හිතාගෙන ඔබේ වැඩ කරගෙන යාමයි සුදුසු…. කරලා බලන්න. ඔබ සාර්ථක වුනොත් අපිටත් කියන්න.
චාන්දිමා මුනමලේ ඈපා
වෘත්තීය මනෝවිද්යා උපදේශිකා
0 Comments:
Post a Comment